පස ආශ්‍රිතව සීග්‍ර ලෙස පැතිර යන රෝගයක් ලෙස අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ටීනියා දිලීර ආසාදනයේ ඉහල යාමක් පවතින බව අනුරාධපුර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කර්යාලයේ වෛද්‍ය නිලධාරී හේමා වීරකෝන් මහත්මිය පැවසුවාය.
පළමුව කුඩා වෘත්තයක් ලෙස හටගන්නා මෙය ක්‍රමයෙන් විශාල වීම එහි ස්වභාවයයි. ඒ සඳහා නිවැරදි ප්‍රතිකාර ක්‍රම අනුගමනය නොකළ හොත් පමණක් ඉන් දියර ගැලීමක් සිදුවිය හැකි බව වෛද්‍යවරිය සඳහන් කළාය.
දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවකින් මේ වන විට ටීනියා ( Tinea/ Dermatophyte) ආසාදිතයින් වාර්තා වී ඇති බවත් වයස් භේදයක් හෝ ස්ත්‍රි පුරුෂ භේදයකින් තොරව ආසාදනය පැතිර යන බවත් හෙහෙම වැඩිදුරටත් අවධාරණය කරයි.
මෙහි ව්‍යාප්තියට ප්‍රධාන හේතුව ලෙස දක්වා ඇත්තේ ප්‍රජාව නිවැරදි පරිදි දිලීර ආසාදන සඳහා ප්‍රතිකාර නොකිරීමයි. ඒ් හේතුවෙන් මෙම දිලීර ආසාදනය සඳහා බොහෝ දිලීර නාශක ඖෂධ මේ වන විට ප්‍රතිරෝධය දක්වයි. ඒම ප්‍රතිරෝධතාව හේතුවෙන් මිල අඩු ඖෂධ වෙනුවට මිල වැඩි දිලීර නාශක ඖෂධ භාවිතා කිරීමට සිදුව ඇත.
කෙසේ වෙතත් ප්‍රජාව විසින් වෛද්‍ය අවවාද හෝ නිර්දේශවලින් තොරව ඖෂධ හල් වලින් ලබා ගන්නා දිලීර නාශක ආලේපන හා බොන බෙහෙත් හේතුවෙන් දිලීර ආසාදනය සුව නොවී විශාල ලෙස පැතිර යාමක් සිදු වන බව හේමා වීරකෝන් මහත්මිය සඳහන් කරයි. ඇතැම් සෞඛ්‍ය අංශ තුලින් ද ඉහත පරිදි දිලීර නාශක ඖෂධ ලබා දී ඇත. මෙම දිලීර ආසාදනය පාලනය සඳහා දිලීර නාශක ආලේපන ඖෂධය සති හයකට වඩා කාලයක් භාවිතා කළ යුතු වේ.
ස්පර්ෂය මගින් හෝ ආසාධිත රෝගියෙකුගේ ඇඳුම් මගින් දිලීරය සම්ප්‍රේෂණය විය හැකි අතර ආසාදනය සම මතුපිට තෙතමනය රැඳෙන දහදිය දමන ස්ථානවල බහුලව දක්නට ලැබේ. විශේෂයෙන් ඉකිලි, කිහිලි හා පියයුරුවලට යටින් මුහුණ ආශ්‍රිතව බහුලව දක්නට ලැබේ. කුඩා බිබිලක් ලෙසින් ආරම්භ වී ක්‍රමයෙන් විශාල වී සම මතුපිට පැල්ලමක් බවට පත්වන මෙය රාත්‍රි කාලයේ දී වැඩි වශයෙන් කැසීමකට ලක් වේ. අධික ලෙස දහදිය දමන අයට දිලීර රෝග වැඩි වශයෙන් ඇති වීමේ අවධානමක් ඇත.
දිලීර ආසාදන ඇත්නම් දිලීර නාශක ආලේපන ඖෂධ පමණක් නියමිත පරිදි සති හයකට වඩා භාවිතා කිරීමෙන් මෙම රෝගය සමාජය තුළ පැතිරීම අවම කළ හැකිය. කෙසේ නමුත් දිලීර රෝගය සුව වී තවත් සති දෙකකට වඩා කාලයක් දිලීර නාශක ඖෂධ භාවිතා කළ යුතු අතර ආසාදිත පැල්ලමට ද ආලේපන ගැල්වීම සිදු කළ යුතු බව වෛද්‍ය හේමා වීරකෝන් මහත්මිය වැඩි දුරටත් දන්වා සිටී.
කිත්සිරි වනසිංහ