ඉගෙනුම් උපකරණ මිල ඉහළ යෑමෙන් ග්‍රාමීය පාසල් දරුවන් කබලෙන් ලිපට

 




අභ්‍යාස පොත් හා ඉගෙනුම් උපකරණ මිල දිනෙන් දින ඉහළ යාම හමුවේ ග්‍රාමීය දුෂ්කර ප්‍රදේශවල පාසල් දරුවන්ගේ අධ්‍යාපන ක්‍රියාවලිය යාවත්කාලීනව පවත්වාගෙන යාම දැඩි සේ අසීරු වී ඇතැයි  අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසැල් වලින් වාර්තා වේ.

අභ්‍යාස පොත්,පැන්සල්,පෑන් ඇතුළු පන්ති කාමරය තුළ ඉගෙනුම් ක්‍රියාවලියට අවශ්‍ය සෙසු උපකරණ මිල ඉහළ යෑම  ඉලක්කගත  ඉගෙනුම් ක්‍රියාවලියේ බිඳවැටීමට දැඩිව බලපානු ඇති බවත් එහි බලපෑම ඉදිරි වසර කිහිපය තුළ පාසල් පද්ධතියෙන් පෙන්නුම් කරනු ඇති බවත් පාසල් බලධාරීහු පවසති.

ගොවිතැන හා කුලී රැකියාව ජීවනෝපාය කරගත් දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශයන්හි දිලිදු පවුල්වල දරුවන් මේ හේතුවෙන් දැඩි පීඩාවට පත්ව සිටිති. පවුල තුල ජීවන ආර්ථිකය බිඳ වැටීම, දෛනික ආහාර වේල සපයා ගැනීම කෙරෙහි වැඩිහිටියන් දැඩි වෙහෙසක් දැරීමත් උල ළමුන්ගේ අවශ්‍යතාවන් අතපසුවීම මීට ඍජුවම බලපෑ ඇති කාරණය වී තිබේ.

ඇතැම් ග්‍රාමිය දුෂ්කර පාසැල් වල දුවා දරුවන් හට වාර්ෂිකව සුභ පතන්නන් ගෙන් ලැබෙන ආධාර ද පවතින ආර්ථික තත්වය හමුවේ පෙර වසර හා සැසඳීමේ දී අඩුවීම ග්‍රාමීය පාසල් පද්ධතියට දැඩිව බලපා තිබේ. 

දිළිඳු ග්‍රාමීය ප්‍රදේශයන්හි පාසැල්වල දුවා දරුවන් සඳහා රජය පෝෂණ වැඩසටහන ක්‍රියාත්මක කොට තිබීම යහපත් සාධකයක් වුවද පාසල් උපකරණ මිල ඉහල යාම හා දරිද්‍රතාවයෙන් පෙලෙන කලාප හඳුනාගෙන එම දරුවන් වෙනුවෙන් සහන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම කාලෝචිත ක්‍රියාවක්ව පවතී.

මෙම තත්ත්වයට කෙටි කලක් තුළ නිසි විසදුම් ලබා නොදුනහොත් රජයේ ඉලක්කගත අධ්‍යාපන ක්‍රියාවලිය පසුබෑමට ලක් වනවා සේම සමස්ත දරු පරපුරේම අනාගතය බලපෑමකට ලක් වනු ඇතැයි පාසැල් පද්ධතියෙන් වාර්තා වේ.

                                                                                                                                   කිත්සිරි වනසිංහ                

Post a Comment

Previous Post Next Post