අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක බඩඉරිඟු වගාවන්ට හානි කරමින් මේ වනවිට සේනා දළඹු වසංගතය ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වීම නිසා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (04) පස්වරුවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක බඩඉරිඟු වගාවන් පරීක්ෂා කිරීම සඳහා ගියේය.
කෘෂිකර්ම නිලධාරීන් සහ ගොවිජන සංවර්ධන නිලධාරීන් පිරිසක් සමඟ අනුරාධපුර, සීප්පුකුලම, විරුප්පන්කුලම ගම්මානයේ වගා කර ඇති බඩඉරිඟු යායවල් කිහිපයක් අමාත්‍යවරයා ඇතුළු පිරිස නිරීක්ෂණය කළහ.
මේ වනවිට සේනා දළඹු වසංගත තත්ත්වය යම් මට්ටමකට උද්ගතව පැවතිය ද, මෙම වසංගත තත්ත්වය පාලනය කළ හැකි මට්ටමක දැනට පවතින බව කෘෂිකර්ම නිලධාරීහු පෙන්වා දුන්හ. විශේෂයෙන් පළමු අවස්ථාවේදීම රසායනික ද්‍රව්‍ය භාවිත නොකර, ජෛව පළිබෝධ හානි වැළැක්වීමේ ක්‍රම උපයෝගී කර ගැනීමත්, ගොවි ජනතාවට සේනා දළඹු හානි වැළැක්වීම පිළිබඳව තාක්ෂණික දැනුම ලබා දීමටත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ වනවිට වැඩපිළිවෙලක් ආරම්භ කර ඇත. විශේෂයෙන්ම පසුගිය දිනවල පැවති වියළි කාලගුණික තත්ත්වය සේනා දළඹු වසංගත තත්ත්වය උද්ගත වීමට හේතු වූ අතර, දැනට පවතින වර්ෂා කාලගුණික තත්ත්වයත් සමඟ සේනා දළඹුවාගේ ව්‍යාප්තිය අඩාල වන බවත්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීහු ප්‍රකාශ කළහ.
මෙහිදී වගා බිම්වල වැඩ කරමින් සිටි ගොවිජනතාව සමඟ කථාබහ කළ අමාත්‍යවරයා, සේනා දළඹු වසංගතය ඉක්මනින්ම පාලනය කරන බවත්, කෘෂිකර්ම අමාත්‍යාංශය හා රජය විසින් ඒ සඳහා අවශ්‍ය සියලුම පියවර ගන්නා බවත් පැවසීය. විශේෂයෙන් මෙවර මහ කන්නයේ බඩඉරිඟු වගාව සාර්ථක කර ගැනීම රජයේ ඉලක්කය බවත්, විශේෂයෙන් සත්ව ආහාර නිෂ්පාදනය සඳහා බඩඉරිඟු වගාව අඩාල වුවහොත්, ලබන වසරේදී කිරි, බිත්තර සහ කුකුළුමස් නිෂ්පාදනය අඩාල විය හැකි බැවින් බඩඉරිඟු වගාව ආරක්ෂා කර ගැනීම ප්රමුඛ කාර්යයක් සේ සලකා කටයුතු කරන බව ද ඇමතිවරයා සඳහන් කළේය.
මෙම අවස්ථාවේදී අදහස් පළ කළ ගොවිජනතාව තම වගා බිම්වලට කෘෂිකර්ම ඇමතිවරයෙක් තම ජීවිත කාලය තුළ පැමිණි ප්‍රථම අවස්ථාව මෙය බවත්, තමන්ගේ දුක් ගැහැට සොයා බැලීම සඳහා පැමිණීම සම්බන්ධයෙන් අමාත්‍යවරයාට ස්තූතිය පළ කළේය. එමෙන්ම වනඅලි තර්ජනයට කඩිනමින් විසඳුමක් ලබා දෙන ලෙස ද ඔවුහු ඉල්ලා සිටියහ. අනුරාධපුර දිස්ත්‍රික්කයේ අලිමංකඩ 05ක් තිබෙන අතර, එම පහම මිනිසුන් විසින් අත්පත් කරගෙන ඇත. එමෙන්ම මිනිසුන්ගේ විරෝධතා නිසා අලි විදුලිවැට ඉදි කිරීම ද අඩාල වී තිබුණත්, ලබන වසර මුල් කාර්තුව තුළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ මෙම ප්‍රදේශයට බලපා තිබෙන වනඅලි ගැටළුව විසඳීම සඳහා අලි විදුලිවැට අනිවාර්යයෙන්ම ඉදි කර දෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය