A 9 රිය අනතුරකින් දරුවෙක් ජීවිතක්ෂයට

 



මහනුවර - යාපනය ඒ-9 මාර්ගයේ කිතුල්හිටියාව ප්‍රදේශයේදී පසුගිය 27 දා සිදු වූ  මාරක රිය අනතුරකින් ප්‍රතිකාර ලබමින් සිටි කුඩා දරුවෙකු පෙරේදා (30දා) ජීවිතක්ෂයට පත්වූ බවත්, තුවාල ලැබූ මව සහ ඇගේ අනෙක් දරුවා ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට ඇතුලත් කර ඇති බව මඩාටුගම පොලීසිය පවසයි.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, අංක 3, අනුරාධපුර පාර, කිතුල්හිටියාව ලිපිනයේ  පදිංචි ගොඩකිරලගහ ගෙදර නිලුපුල් ජීවමාන් විජේරත්න නැමති වයස අවුරුදු 8ක දරුවෙකි.

තම දරු දෙදෙනා සමග මඩාටුගම දෙස සිට දඹුල්ල දෙසට යතුරු පැදියකින් ගමන් කළ 41 හැවිරිදි කාන්තාවක් මාර්ගයේ වම් පස සිට යළි මඩාටුගම දෙසට මාර්ගය හරහා තම යතුරු පැදිය  හැර වීමට යාමේදී පිටු පසින් පැමිණි කාර් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය කියයි.

අනතුරින් තුවාල ලැබූ මව සහ දරු දෙදෙනා දඹුල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව  බරපතල තත්වයෙන්  පසුවූ එක් දරුවෙකු මහනුවර ජාතික රෝහලට මාරු කර යවා ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස  ජීවිතක්ෂයට පත්ව  ඇතැයි පොලීසිය සඳහන් කළේය.

කාර් රථයේ රියදුරු ගේ සහ යතුරුපැදියේ, පැදිකාරියගේ නොසැලකිලිමත් හා අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති  බව පොලීසිය ප්‍රකාශ කළේය.

ගම්පොළ ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි කාර් රථයේ රියදුරා අත්අඩංගුවට ගත් බවත් එම සැකකරු  අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බවද පොලිසිය කියයි.

මෙම අනතුර  සම්බන්ධයෙන් මඩාටුගම පොලීසියේ නිලධාරීහු පිරිසක් වැඩි දුර විමර්ශන සිදු කරති.

                                                                                                                අනුරාධපුර - බී.ජී. චතුරංග 

Post a Comment

Previous Post Next Post