අනවසර ගණිකා මඩම් දෙකක් වටලා කාන්තාවන් 6 ඇතුළු විවිධ අපරාධවලට සම්බන්ධ 18 අත්අඩංගුවට

 



අනුරාධපුර නගරය සහ ඒ අවට  සිදු කළ හදිසි වැටලීම් 13 කදී විවිධ වැරදි සම්බන්ධයෙන් කාන්තාවන් 10 දෙනෙකු   ඇතුළු පුද්ගලයන් 18ක් අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 23ත් -  45 ත් අතර වියේ පසුවන්නන් බව පොලිසිය කියයි. 

මෙහිදී හෙරොයින් මත් කුඩු ළඟ තබා ගැනීම  සම්බන්ධයෙන් පිරිමි පුද්ගලයන් 8 දෙනෙකු  අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය. 

ආයුර්වේද සම්බාහ මධ්‍යස්ථානයක් ලෙස පුවරු සවිකර, කිසිදු බලපත්‍රයක් නොමැතිව අනුරාධපුර නව නගරයේ පවත්වා ගෙන ගිය ගණිකා මධ්‍යස්ථාන දෙකක් වටලා එහි රැඳී සිටි කාන්තාවන් 6 දෙනෙකු  අත්අඩංගුවට ගත් බවත්  එම සැකකාරියන් තඹුත්තේගම කෝන්වැව, හේනමුල්ල කොළඹ 15, පිටියාව ගල්නෑව, මොරටුව කොරලවැල්ල, සහ  මහඔය පදිංචිකාරියන් බව පොලීසිය සඳහන් කළේය.

අනුරාධපුර පැරණි බස් නැවතුම්පළ අසල අතුරු මාර්ග වල රැඳී සිටිමින් නගරයට පැමිණෙන පිරිමි පුද්ගලයන් ලිංගික ක්‍රියාවලට පොළඹවා ගැනීමේ යෙදී  සිටි කාන්තාවන් සිව් දෙනෙකු අයාලේ යාමේ වරදට අත්අඩංගුවට ගත් බවත්  මෙම සැකකාරියන් නීරාවිය අනුරාධපුර, කිරිගල්වැව මැදවච්චිය, වෙරලුගොල්ල කන්ද කඩුගන්නාව, මාතලේ ලෙනදොර පදිංචිකාරියක් බව  පොලීසිය කියයි. 

අත්අඩංගුවට ගත් කාන්තාවන්  10 දෙනා අතුරින් 9දෙනෙකුම  දුර බැහැර ප්‍රදේශවල පදිංචි කාරියන් බවත් මෙම සැකකාරියන් කොළඹ උසස් රැකියාවල නිරත වන බවට නිවෙස්වලට පවසා දුර බැහැර සිට අනුරාධපුරයට පැමිණ ගණිකා වෘත්තියේ යෙදී සිටී බව සැකකාරියන් ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වූ බව ද පොලීසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරියන් 18 දෙනා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .

උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්  නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන  යන මහත්වරුන්ගේ උපදෙස් මත  අනුරාධපුර කොට්ඨාස භාර  ජේෂ්ඨ පොලිස් අධිකාරි ජයන්ත පුෂ්පකුමාර, 

සහකාර පොලිස් අධිකාරී (1) සංජීව මහානාම යන  මහත්වරුන්ගේ මෙහෙය වීම මත කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍ර.පො.පරීක්ෂක බංඩාර විජේකෝන්,  දුෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අලුත් ගෙදර ඇතුළු නිලධාරීහු පිරිසක් වැටලීම් සිදු කර සැකකරුවන් අත් අඩංගුවට ගත්හ.

                                                                                                          ````      අනුරාධපුර - බී.ජී. චතුරංග

Post a Comment

Previous Post Next Post