මහවිලච්චිය පොලිස් වසමේ නිවසකට රාත්‍රී කාලයේ ඇතුළු සොරෙකු නිවැසියන් හට මන්නා පිහි පාරක් එල්ල කිරීමට සැරසුණු අවස්ථාවේ සිදුවූ පොර බැඳීමකින් පසු එම සොරා බරපතළ තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව මහවිලච්චිය පොලීසිය පවසයි.
මහ විලච්චිය, පේමඩුව පන්සල පාරේ නිවසක පසුගිය දිනක අළුයම පුද්ගලයෙකු ඇවිදින ශබ්දයක් ඇසී, නිවැසියන් විදුලි පහන් දල්වා බැලීමේදී නිවසේ වහලයේ උළු කැට කිහිපයක් නොමැති බව දැක තිබේ.
පසුව නිවස පුරා සෝදිසි කර බැලීමේදී නිවසේ කාමරයට සැඟව සිටින පුද්ගලයෙකු දැක, එම පුද්ගලයා දිවුල් ගස් හංදියේ පදිංචි අයෙකු බව හඳුනා ගන්නවාත් සමගම සැකකරු නිවසේ තිබූ මන්නා පිහිය අතට ගෙන එම නිවසේ හිමිකරුට සහ ඔහුගේ බිරිඳට මන්නා පිහි පහර එල්ල කිරීමට යාමේදී තිදෙනා අතර පොර බැඳීමක් සිදුව තිබූ බව පොලිසිය කියයි.
නිවැසියන් සමඟ පොර බදමින් සිටි අවස්ථාවේදී සැකකරුගේ අතේ තිබූ මන්නා පිහිය, ඔහුගේම කකුල් දෙකේ පැටලී බරපතල කැපුම් තුවාල ලබා ඇති බවත්, එම අවස්ථාවේ සිදු කළ දැනුම් දීමකට අනුව මහවිලච්චිය පොලීසියේ රාත්‍රී මුර සංචාරයේ යෙදී සිටි නිලධාරීන් පිරිසක් වහා එම නිවසට පැමිණ බරපතළ තුවාල ලබා සිටි සැකකරු මහවිලච්චිය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.
මහවිලච්චිය රෝහලට ඇතුළත් කෙරුණු සැකකරු අධික රුධිරය වහනයවී අසාධ්‍ය තත්වයෙන් තත්ත්වයෙන් පසුවීම හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා තිබුණි.
සිද්ධිය සම්බන්ධව මහවිලච්චිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
අනුරාධපුර විශේෂ - බී.ජී.චතුරංග