යතාර්ථයෙන් මිදුන සමාජය උදෙසා... මම නොදුටු මල්.... 02


 යතාර්ථයෙන් මිදුන සමාජය උදෙසා...

  මම නොදුටු මල්.... 02

සත්‍ය සිදුවීමක් ඇසුරිනි 


අයිය බලන්ඩකො අපෙ මහත්තය හදිසියේම පේස්බුක් එකට පොටෝ එකක් දාල තිබුන රට ඉදල ලංකාවට එන්න මැලේසියා ගුවන්තොටුපළට ආව කියල. මට නේද යකු නැග්ග. අපිට නොකියා එහෙමත් එනවද නේද. මම කිව්ව කෝල් කරල කනේ ඇගිලි ගහගන්න. බැලින්නම් බොරුවක් කරල තියෙන්නෙ. පොඩි ආතල් එකක් අරන්. මට රත්වුනා මොකද නොකියාම එන්නෙ කියල රුවන්ති කෝපය මුසු වූ තැති ගැම්මකින් කියනට වූවාය.

ඔයා මොකට බය වෙන්නද මහත්තයා එන එක කොච්චර හොදද. ඇයට පෙරලා කීවෙමි. නෑ ඉතින් කෙටි පිලිතුරක් දී ඇය නිහඩ වූවාය.

වසර දෙකකුත් මාස තුනක් මැලේසියාවේ කර්මාන්ත ශාලාවක රැකියාවේ නිරත තම සැමියා ලංකාවට පැමිණෙන  බව මුහුණු පොතෙන් දුටු ඇය කලබල වූසේ මන්ද. එය කුතුහලයක් ගෙනදෙන කාරනයක් විය. 

ඔය අලකලංචිය කියන විට  දහවල් දෙකට විතර ඇති. රුවන්ති ගැන වටින් ගොඩින් රා රූ ඇසුනට ඇය හැසිරෙන අයුරු දුටුවාම අබමල් රේණුවක තරම් සැකයක් මතුවන්නේ නැත. ඇය ඒ තරම් සමාජ සීලීය. ඕනැ එකෙකුට කෙලින් කතා කරන  චරිතයකි. පාට වැටුන වට්ටක්කා ගෙඩියක් සේ හැඩට ලයාන්විත ගමනක් ඇති ඇය ඇහැ කොනින් බලන බැල්ම නම් ගැටවර තරුණයන්ට එතරම් වාවන්නේ නැති බවක් නම් නොරහසකි. 

රුවන්ති දරු දෙදෙනෙකුගේ මවකි.පිරිමි දරුවෙකු සහ ගැහැනු දරුවෙකු සිටින ඇය බැලූ බැල්මට අවුරුදු හතලිහ නම් පසුකර නැත. කොයි මොහොතේ ගෙයින් එලියට බැස්සද නේපත්‍යාගාරයකින් එලියට බට සමනලියක සේ සැරසී සිටීම පුරුද්දකි.යහ මහතින් අත දිගහැර වියදම් කරන්නට ද පුරුද්දක් ඇත්තියකි. ඇය රැකියාවක් නොකරත් ස්වාමියා ඇයට සෑහෙන මුදලක් මසකට දීම නොකඩවා සිදුකල දෙයකි.

පේස්බුක් කතාව කිව්ව දිනයේ සවස දරුවන් දෙදෙනාද ගෙදර නොසිටියේය. ඔවුන් උපකාරක පංතියක් සදහා නිවසින් පිටව ගොස් තිබුණි.මා සිටින නිවසත් ඇගේ නිවසත් පේන මානයේ පිහිටා ඇත. වටින් ගොඩින් කලුවර වැටෙන්නට විය. නිවස ඉදිරියෙන් දිවෙන ප්‍රදාන පාරේ තොර තෝංචියක් නැතිව වාහන එහා මෙහා යන මොහොතකි. අඩක් විවරව තිබූ රුවන්තිගේ නිවසේ ප්‍රදාන දොර හොදින් අරිනු එක වරම දිස්වුනි. ඇය ආලින්දයට බැස වටපිට බලයි.  යලි ගෙටයයි . දැල්වෙමින් තිබූ ඉදිරිපස බල්බය නිවා දමයි. මා ඒ දෙස බලා ඉන්නා බවක් ඇය නොදනී. මාරගයේ වූ විදුලි පහන් කණුවේ අදුරු ආලෝකයට යමෙකු වැනෙන බවක් පෙනේ. කොට කලිසමකින් හා ටීසර්ට් එකකින් සැරසුන හිස් වැසුමක් පැළඳි තරුණයෙකු රුවන්තිගේ ගෙට රින්ගනු දුටිමි. ඇය යලි ඉදිරිපස විදුලි පහන දල්ව යි. කොස්සක් රැගෙන එලියට ආ ඈ ගෙපිල හොදින් අතුගා යලි ගෙට ගොස් දොර වසා ගනී. මිනිත්තු හතලිස් පහකට පමන පසු එළියේ වූ විදුලි පහන නිවා දමයි. ගෙටගිය තරුණයා ඉන් පිට වී පස්ස නොබලා වේගයෙන් අඩි කඩයි. කවුරුත් දැක්කේ නැත. අවුලක් ඇත්තේම නැතැයි දෙදෙනාම සිතන්නට ඇත. එදා සිට අද වන තෙක්ම ඇය දුටුවද මගහැරයාම පුරුද්දක් කර ගතිමි. රුවන්තිගෙ රඟපෑමට සිය සැමියා තවමත් රැවටී සිටී. ඔය සිදුවීමෙන් සතියකට පමන පසු ස්වාමියාද ලංකාවට පැමිණේ. අවස්තා කිහිපයක දී ඔහු මුහුණට මුහුණ හමුවිය. කොහොමද අයියා හොදින් නේද ඔහු විමසූ විට ඔව් මල්ලි හොදින් ඉන්නව කිව්ව හැරෙන්නට ඔහුට මුහුණ දීමද ලැජ්ජාවක් සේ දැනුනි. එහෙත් රුවන්ති පත්තිනි වේසයෙන් තම ස්වාමියා ඉදිරියේ රඟ දක්වන්නීය. ස්වාමියා නොදැන සිටියාට රුවන්තිගෙ රෙද්දෙ තුත්තිරි ඇති පතිනියක් බව දන්නෝ දනිති.


නවතම කතාන්ගයකින් හෙටත් හමුවෙමු........


                                                                                                                                    කිත්සිරි වනසිංහ

Post a Comment

Previous Post Next Post