ලක්වාසී ජනී ජනයාගේ ජනාදරයට හා ගෞරව බහුමානයට පාත්‍ර වූ රජරට විශ්ව විද්‍යාලයේ කුලපති ඊතලවැටුනුවැවේ ඥානතිලක නාහිමියන් ඓතිහාසික රුවන්වැලි මහා සෑ චෛත්‍යරාම්ධිකාරි ධූරයට ඉකුත්දා අටමස්ථාන කාරක සංඝ සභාව විසින් ගන්නා ලද තීරණයකට අනුව අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නා හිමියන් විසිනි පත්කරනු ලැබූහ.
ලක්වාසී බෞද්ධ ජනයා අතර ප්‍රකට ධර්ම කථිකයෙකු වල උන්වහන්සේ මහා සෑ මළුවේ පැවිද්ද ලබා ඉතා කෙටි කාලයක් තුළ මහා සෑ පුද බිමේ පාලක නාහිමියන් ලෙස පත්වීම බෞද්ධ ජනයාට බුද්ධාලම්භන ප්‍රීතිය ගෙනදෙන කරුනක් බවට පත්ව තිබේ.
මිරිසවැටිය චෛත්‍යරාමධිකාරි ලෙස උන්වහන්සේ කටයුතු කරන අවධියේ රජමැදුරේ රටේ පාලකයාගේ සිට ගමේ පොල් අතු පැලේ අසරණයා වගේම වීදියේ සරණා දුගියාට ද මිරිසවැටියේ දානශාලාව දවස පුරා විවෘතව තැබුණි. නා හිමියන් බැහැදුටු කිසිවකුට පැන් පොදක් හෝ නොබී ආවාස කුටිය තුළින් බැහැර යෑම තහනම්ය. උන්වහන්සේ ලබැඳි සිතුවිලි අතර මාහැඟි පින්කම් කරන්නට සමතෙකි. ලෝකවාසී බෞද්ධ ජනයා දොහොත් මුදුනින් දණ නමස්කාර කරන සම්බුද්ධ චීවරය කර මත හොයාගෙන ලක් සසුන බුද්ධාලම්භන ප්‍රීතියෙන් බබලවන්නට වෙර වීරිය දරනා තවත් හිමිනමක් දැක නැතැයි උන්වහන්සේ බැහැදකින බොහෝ දෙනාගේ මුවින් පිට වීම ලාංකීය බෞද්ධයා ලද ජයග්‍රහණයකි.
වව්නියාව මඩුකන්ද මාමඩුව ප්‍රදේශයේ කටොර ගම් පියසක් වන පිරප්පන්මඩුව දී 1969.05.01 දින එන්.ගුණවර්ධන හා කේ.බී.සීතා යන දෙමාපියන්ට දාව ඉපිද ඤාණතිලක දිසානායක නමින් රත්මල්ගහවැව ඊතලවැටුනුවැව ගම්මානයේ හැදී වැඩී මහකුඹුක්වැව ව්ද්‍යාලයේ සිප්සතර හදාරමින් සිටියදී වයස අවුරුදු හතේදී ඉන් ඉවත්ව රුවන්වැලි සෑ පරිශ්‍රයෙහි ආරම්භ කෙරුණ මහා විහාර පිරිවනේ සාමනේර හිමිනමක් ලෙස එක්වෙමින් සිය පැවිදි ගමන ආරම්භ කරන්නට යෙදුනි.
රුවන්වැලිසෑ චෛත්‍යය රාමාධිපති ව වැඩ විසූ ඇතිමලේ ගුණරතන සහ එවක අටමස්ථානාධිපති ව වැඩ විසූ පල්ලේගම ඥානරතන මහ නාහිමිවරුන්ගේ ගුරුහරුකම් මත 1981 මැයි 13 වැනිදා ඊතලවැටුනුවැවේ ඥානතිලක නමින් සසුන්ගත වූ උන්වහන්සේ 1989.මැයි 23 දින පැවදි උපසම්පදාව ලැබූහ.
සිය අධ්‍යාපන ගමනේ දී මහා විහාර පිරිවනෙන් සඳලංකාව ශාස්ත්‍රෝදය මහා පිරිවෙනටත් පසුව පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගනිමින් අනතුරුව කැලණිය විශ්ව විද්‍යාලයෙන් සමාජ විද්‍යාපති පශ්චාත් උපාධිය ද ලබා ගන්නට සමත් වූහ. වර්තමානයේ රජරට විශ්ව විද්‍යාලයේ කුලපති පදවිය දරමින් රජරටින් බිහිවූ ප්‍රථම කුලපති හිමිනම ලෙස ද 2020 ජූලි 24 පිදුම් ලැබූහ.
අටමස්ථානාධිපතිව වැඩ විසූ පල්ලෙගම සිරිනිවාස නාහිමිපාණන්ගේ අපවත්වීමෙන් අනතුරුව රුවන්වැලි චෛත්‍යරාම්ධිකාරි ව වැඩ විසූ පල්ලේගම හේමරතන නා හිමියන් අටමස්ථානාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව පුරපාඩු වූ රුවන්වැලි චෛත්‍යරාම්ධිකාරි පදවියට ඉකුත් 21 දා සිට ඊතලවැටුනවැවේ ඤාණතිලක හිමියන් කළ බව අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමියන් අටමස්ථාන කාරක සංඝ සභාවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ඤාණතිලක හිමියන් එතැන් සිට එම ධුරයේ වගකීම භාරගෙන ශාසනික මෙහෙවරේ නිරත වන්නට වූහ.
ගරාවැටී තිබූ මිරිසවැටිය මහා දාගැබ අද සුදු සුදුවතින් බබලන්නේත්, ආයත මළුව ප්‍රාකාරය විහාර ගෙය විදුලි ආලෝක පද්ධතිය වැලිමළුව ආදී සංරක්ෂණ කටයුතු පුරාවිද්‍යා ස්මාරක යනාදී මේ සියල්ල සපුරා පුදබිම ආලෝකයට පත්කළේ ඤාණතිලක නා හිමියන්ගේ අප්‍රතිහත ධෛර්යය නිසා ය.
පාසල් සිසුන් දහසකට, ගැබිණි මව්වරුන් දහසකට.ගොවි පවුල් දහසකට සෑම වසර පුරාම අනේකවූ උපකාරයන් මෙන්ම පරිත්‍යාගයන් ලබාදීම සෑම වසරක් පුරාම සිදු කිරීම මෙන්ම සාමණේර හිමිවරුන් දහසක් සඳහා අධ්‍යාපන උපකරණ ප්‍රධානය කිරීමත්, දුස්කර වෙහෙර විහාරස්ථාන සඳහා අවශ්‍ය උපකාර ප්‍රදානය කිරීමද වසරක් පාසා උන්වහන්සේ සිදුකරන ආගමික හා සමාජ මෙහෙවර අතර මුල් තැනක් ගනී. එමෙන්ම කාලීන වශයෙන් පැනනගින සෑම පොදු සමාජීය ගැටලු හමුවේ ද රට ජාතිය වෙනුවෙන් මුල් තැන ගෙන කටයුතු කිරීම ඤාණතිලක හිමියන්ගේ භික්ෂු ජීවිතයේ සුවිශේෂී ලක්ෂණයකි.
තිස් වසරක් පුරා පැවති යුද්ධය හමුවේ මායිම් ගම්මානවල ත්‍රස්තවාදී පීඩනයන්ට ලක් වූ පීඩිතයන් වගේම යුද පෙරමුණේ යුද වැදුණු රණවිරුවන්ගේ චිත්ත ධෛර්යය වර්ධනයෙහි ලා ද එවක පාලකයන් හා සෘජු සම්බන්ධකම් පවත්වමින් උන්වහන්සේ සමය වෙනුවෙන් සිය භික්ෂු ජීවිතය කැප කළ යතිවරයාණන් වහන්සේ නමකි. දනට හා පිනට මාහැඟි ළැදියාවක් ඇති උන්වහන්සේ මිරිසවැටිය සෑ මළුවේ දී කිරිඅම්මාවරුන් දහසක් උදෙසා පවත්වනු ලබන කිරි අම්මා දානය ද ලාංකීය පාරම්පරික අනන්‍යතාවයන් හා හෙල සිරිත් මතු පරපුරට දායාද කරන්නට දරන වෙහෙස අතිමහත්ය.
නොබෝ දා රුවන්වැලි මහා සෑය චෛත්‍යරාම්ධිකාරි ලෙස පත් වූ ඊතලවැටුනුවැවේ ඤාණතිලක හිමිපාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවයෙන් චිරාත් කාලයක් සම්බුද්ධ ශාසනයේ තිර පැවැත්ම උදෙසා ශාසනික මෙහෙවරෙහි යෙදෙන්නට තුනුරුවනේ ශක්තිය ලැබේවායි පතමි
අනුරාධපුර කිත්සිරි වනසිංහ